Monday, March 3, 2014

සේයාරූ සම්පිණ්ඩණය




 

බස් නැවතුම් පලකට එක්වෙන බොහෝ දෙනා
එකිනෙකා නාඳුනන්නෝය.
එහෙත් එකම ආයතනයක, එක් දෙපාර්තමේන්තුවක,
එකම පෙදෙසක ආදී වශයෙන්
කිසියම් ආකාරයක සබඳතාවයක් ඇති අය
බස් නැවතුම් පලක වුව හමු වූ විට
එක්ව සමූහයක් මෙන් හැසිරෙති.
එසේ නාඳුනන දෙදෙනක් හෝ කිහිප දෙneක් වුවද
එසේ එක්වූ විට නිළ ඇඳුම නිසා,
වයස් මට්ටම නිසා, ගැහැණු පිරිමි බව නිසා
කිසියම් ආකාරයක
සාම්‍යයක් දක්නට ලැබෙයි.

බස් නැවතුම් පලක
කිසියම් සිත්ගන්නා සුළු රටාවක් නිර්මාණය වූ විට
ඡායාරූප ශිල්පියෙකුගෙ කැමරාව ක්‍රියාත්මක විය හැක.
එය අහඹු සිදුවීමකි.

දක්ෂ ඡායාරූප ශිල්පියෙකුට
මෙවන් අවස්ථාවක් උදාවන්නේ
ජීවිතයටම එක වරක් විය හැක.
එහෙත් පළමු වරට කැමරාව අතටගත්
සූහුඹුල් නවකයෙකුට
ඕනෑම බස් නැවතුමක් ඡායාරූපයකි.
ඔහුට වීව් ෆයින්ඩරයෙන් පෙනෙන
ඔහු ප්‍රිය කරන ඕනෑම දෙයක්
ඡායාරූපයකි.

බස් නැවතුමක කොපමණ සෙනග සිටියත්
කැමරාවක් අරන් බස් නැවතුමට එන නවකයෙක්
තමන්ගෙ යහලුවෙක් එහි සිටිනවා දැක
ඔහු ඡායාරූපගත ගත කළොත්
ඔහුට හැරෙන්න වෙනත් කිසිවෙකුට
යහලුවා සොයා ගන්න අපහසු වේවි.



සුදුසු ලෙස සම්පිණ්ඩණය සැකසීමෙන්
ඡායාරූපය දකින කෙනෙකුට
බස් නැවතුම්පළේ සිටින අය අතරින්
අර යහලුවා මුලින්ම පෙනෙන්නට
සැලැස්විය හැකියි.


නවකයාගෙන්
දක්ෂ ඡායාරූප ශිල්පියා වෙනස් වෙන
මූලිකම හා වැදගත්ම ලක්ෂණය
ඔහුට අවශ්‍ය දේ පැහැදිලිව පෙන්වීමට
ඔහුට ඇති හැකියාවයි.


===================================================

වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන කෙනෙක්
වේදිකා පසුතලය,රංගභාණ්ඩ, නළු නිළියන්, ඇඳුම් පැළඳුම්,
වේශනිරූපණය, ආලෝකය ආදී සියල්ල
මනාව සැලසුම් කරනවා.

ඔහුට වේදිකාව තුළ ඇති
හැම රේඛාවක්ම, හැම හැඩයක්ම,
හැම හැඩ තලයක්ම, හැම වර්ණයක්ම,
හැම ආලෝකමත් ස්ථානයක්ම,
හැම අඳුරු පදාසයක්ම
ඔහුගේ හැඟීම සාර්ථකව
ප්‍රේක්ෂකයා වෙත සම්ප්‍රේෂණය කරන්නට
ඔහු භාවිතා කරන මෙවලම්.

ඔහු සාර්ථක වන්නේ
මෙම මෙවලම්වල හැසිරීම පිළිබඳව
ඔහුට ඇති අවබෝධය සහ
එම මෙවලම් හැසිර වීමට
ඔහු තුළ ඇති හැකියාව මතයි.


හැම නලුවෙක්ම, හැම නිළියක්ම
වේදිකාවට අවතීර්ණ වෙන ස්ථානය,
අවතීර්ණ වෙන ආකාරය,
ඒ අවතීර්ණ වෙද්දී අනික් චරිත හැසිරෙන ආකාරය
ආලෝකය පතිත වෙන ආකාරය,
පැමිණ නතර වෙන තැන,
පවත්වා ගන්නා ඉරියව්ව ආදී බොහෝ දේ
නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නා
ඉතා මැනවින් තීරණය කොට ඇත.


ඔහු වේදිකාව මත
බස් නැවතුම් පළක් නිර්මාණය කළ හොත්
එය බස් නැවතුම්පළක ලක්ෂණ දරන නමුදු,
ඔහු නිර්මාණය කරන බස් නැවතුම් පළ අනුව
අපේ සිතෙහි මතුකරන්නට අවශ්‍ය හැඟීම
ඔහු නිශ්චිතව තීරණය කර ඇත.



ඔහු දක්ෂයෙකු නම්
මුළු ප්‍රෙක්ෂකාගාරයම නතු කරගෙන
ඔහුට අවශ්‍ය හැඟීමෙන්
නරඹන්නන් හැඟුම් බර කරන්නට
ඔහු සමත් වෙයි.

ඔහු මවන දර්ශනයට අනුව
රසිකයන් එකාවන්ව හිනැහෙති, හඬති, සුසුම් ලති, තැවෙති.


සැබෑ බස් නැවතුම් පළක
අප මෙසේ එකාවන්ව හැඟුම් බර වන්නේ.
මිනී මැරුමක්, පහර දීමක් වැනි යමක්
සිදු වුණොත් පමණි.
ඒ සිදුවීමත් අහම්බයකි.
අන් අවස්ථාවල බස් නැවතුම
උදාසීන දසුනකි.
  සුදුසු අවස්ථාවක් දුටු තැන මග නොහරින
දක්ෂ ඡායාරූප ශිල්පියෙක්
බස් නැවතුම් පලක වුවද නාට්‍ය වේදිකාවක මෙන්
සිය ඡායාරූපය මනාව සම්පිණ්ඩණය කර ගනියි.


දක්ෂ ඡායාරූප ශිල්පියෙකු සිය රාමුව සකස් කරගන්නේ හැඟීමක් මතු කරගන්නටය.






ඡායාරූප ශිල්පියෙකු හමුවේ ඇති දසුන
රේඛා, වර්ණ, හැඩතල ආදිය
මනසින් විශ්ලේෂණය කරගන්නට,
රේඛා, වර්ණ, හැඩතල ආදිය අනුව බෙදාගන්නට,
ඒ රටාවන්හි ඇති රිද්මය හඳුනාගන්නට,
ඔහුට උපකාරී වන සම්පිණ්ඩණ රීති
පෙළ ගැස්වීම
මෙම බ්ලොග් අඩවියෙහි අරමුණයි.

කියවීමෙන්, මතක තබා ගැනීමෙන්,
මෙම රීති ඔබට පිහිටන්නේ නැත.
ඔබ ඒ රීති අනුව ඡායාරූප ගෙන
අත්හදා බැලීම කළ යුතුය.



දක්ෂ ඡායාරූප ශිල්පියෙකුට
චිත්‍රාගාරයක් වැනි තැනක හැර
අන් බොහෝ අවස්ථාවල
නාට්‍ය වේදිකාවක වැනි පාලනයක් නැතත්
ඔහු සිය රාමුව සකස් කරගන්නට
සුදුසු කෝණයක් සොයා ගනියි.


රේඛා, වර්ණ, හැඩතල ආදිය
ක්‍රමානුකූලව සම්පිණ්ඩණය කරගනිමින්
ඔහු ඡායාරූපය සටහන් කරගනියි.
--------------------------------------------------------------------------

ස්ටීව් මැක්කරිගේ මෙම ඡායාරූපයේ
එකිනෙකට ප්‍රති විරුද්ධ නිල් සහ කහ වර්ණ දෙක
මනා රිද්මයකින් සංකලනය වී තිබෙනවා.

ස්ත්‍රියගේ කහ පදාසයට ඉතා සුන්දර අයුරින් සංගත වී ඇති පසුබිමේ කහ පදාස නිසා
ඇය එම කහ පදාසයෙන් ඉවත්වී යන ස්වභාවයක් දකිනවා.

කහ පදාස වල ඇති නාරි ලාලිත්‍යමය රිද්මයට සැසඳෙන අයුරින්
නිල් පැහැ පදාස ස්ථාවර දැඩි ලක්ෂණ සහිත රිද්මයක් සමග
ඡායාරූපය හැඩ කරනවා.
-------------------------------------------------------------------------


රීතියක් කියන්නෙ මූලික සැකිල්ලක් විතරයි..
අවස්ථාවෙන් අවස්ථාවට රීති වෙනස්වෙනවා.

ශිල්පීන්ගෙ රසඥතාවය අනුව රීති වෙනස්වෙනවා.
ඡායාරූපයක වර්ණ, හැඩතල, රේඛා, අනුව රීති වෙනස්වෙනවා.
ඇතිකරන්න අවශ්‍ය හැඟීම අනුව රීති වෙනස්වෙනවා.

රීතියක් කියන්නෙ
නිශ්චිත හැඩයක් ඇති  මැටි පිඩක්.
එයට ගත හැකි හැඩ අවිනිශ්චිත
නම්‍යශීලී මැටි පිඩක්.

නිර්මාණ ශීලී කලාකරුවා එයින් මූර්තියක් අඹනවා.
ඒ නිර්මාණය තුළ මැටි පිඩ සොයාගන්නට
සාමාන්‍ය රසිකයෙකුට නොහැකි වෙන්න පුලුවන්.


මෙහි දකුණෙ තියෙන්නෙ
ස්ටීව් මැක්කරිගෙ
මුල් ඡායාරූපය...
එහි රාමුවෙ පරිමාණය
ස්වර්ණමය රීතියට අනුකූල
රාමුවට සමීපයි.

රාමුවෙ පරිමාණය
ස්වර්ණමය රීතියට අනුකූල රාමුවට සමීප වුණත්
කාන්තාව පෙනෙන්නෙ
ස්වර්ණමය රීතියට අනුව සමබරව සිටිය යුතු
ස්වර්ණමය ලක්ෂ්‍යයේ ඉඳලා
පහළට බැස්ස වගෙයි.

ඒ විදියට
සමබර බව බිඳීම නිසා
ඇගේ ගමන හොඳින් දැනෙනව.
ස්ටීව් රීතිය රැක්කා නම් ප්‍රතිඵලය වෙනස්.

වමේ තියන ඡායාරූප වල කාන්තාව හරියටම
ස්වර්ණමය රීතියට අනුව ස්ථානගත කරල තියනවා.

ඇය අහසෙ පාවෙන ගතියකුයි පෙනෙන්නෙ.
රාමුවත් හැඩතලත් සමබරයි..
ඒත් අපිට දැනෙන දෙයක් නැහැ.

ස්ටීව්  ස්වර්ණමය රාමුව හදාගෙන
ස්වර්ණමය රීතිය
නිර්මාණ ශීලී ලෙස බිඳෙන
ස්වර්ණමය මොහොතෙදි ක්ලික් කරලා..

 ==================================================

සතත අභ්‍යාසයෙන්,  රීති ඉක්මවා ගොස්
නිවහල් සිතින්,  සැහැල්ලුවෙන්
හොඳ ඡායාරූප ගන්නට ඔබ හුරුවෙනතුරු
මෙම  රීති හදාරන්න.

හොඳ ඡායාරූප වලින් පදම් වෙමින්..
පන්නරය ලබන විට ඔබේ නිර්මාණ වල
අවශ්‍ය විටෙක රීති රැකේවි..
අවශ්‍ය විටෙක බිඳේවි..

පොදු රස වින්දනයට රටාවක් තියනවා.
ඒත් ඒක නිශ්චිත නැහැ.
ඒ නිසා ඒ රසවින්දන රටා වල
පොදු ගුණාකාර ලෙස සොයාගත් රීති
කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙනවා.

රීතියටම කරන දේ යාන්ත්‍රිකයි..

රීති හොඳින් ඉගෙනගෙන..
කැමති විදියට අභ්‍යාසත් කරලා
ඡායාරූප ගන්නා විට නිදැල්ලෙ ගන්න.
ඇසටත්, කැමරාවටත් ඒ කාර්යය
එකමුතුව සැනසිල්ලෙ කරන්නට දෙන්න.
ඒ වෙලාවට රීති ගැන හිතන්න ප්‍රමාද වැඩියි.

ඔබ රීති දන්න ප්‍රමාණය
ඔබටත් හොරෙන් ඔබට සහාය වෙයි.

මොන රීති තිබුණත්..
මොන රීති ඉගේන ගත්තත්
ඔබ ක්ලික් කරන මොහොතෙදි
ඡායාරූපයක අවසන් විනිශ්චය
ලබා දිය යුත්තේ ඇස විසින්...

රසිකයා ඔහුගේ විනිශ්චය දෙන්නෙ
ඇස මගින්...

රීති සොයමින් රස විඳින
විචාරකයන් කැමති නම්
ඔබේ ඡායාරූපය ගැන
කරදර වුණාවේ.

නියමුවා ඔබයි.

------------------------------------------------------------------------------------
ඔබට සුබ පැතුම්.







No comments:

Post a Comment